ඉතාලි වීසා අර්බුදයට කඩිනම් විසදුම් ලබාදෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීම අවශ්‍ය වන, විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ලබාදීම සදහා අවශ්‍ය පියවර ගනු ලැබුවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද දිනයේදී පැවති විදේශ රැකියා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි.

විදෙස් රැකියාවක් සදහා පිටත් වීමට අපේක්ෂාවෙන් පසුවෙන අයදුම්කරුවන්ගේ ප්‍රධාන අවශ්‍යතාවක් වන පොලිස් නිෂ්කාශන වාර්තා කඩිනමින් ලබා ගැනීම, කටාර් වීසා මධ්‍යස්ථානයේ ගැටලු , පෝලන්ත සහ මෝල්ටා රාජ්‍යයන්ගේ රැකියා වීසා ලබා ගැනීම, රොමේනියාව, ජපානය සහ සීෂෙල්ස් රාජ්‍යයන්ගේ රැකියා වීසා ලබා ගැනීමට අදාළ ව මෙහෙයුම් කාර්යක්ෂම කිරීම, ඉතාලි වීසා සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය සදහා කඩිනම් විසදුම් ලබා දීම, ලෙබනනය, සෞදි අරාබිය, ඩුබායි, අබුඩාබි රාජ්‍යයන් සදහා පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම සහ වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් සදහා අයදුම්කරුවන් යොමු කිරීම, එක්සත් රාජධානියේ සාත්තු සේවාවන් සදහා වන රැකියා කෝටාව ඉහළ නැංවීම, ඕමානය, බහරේනය සහ කුවේට් රාජ්‍යයන්ගෙන් වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා ගැනීම, ඊශ්‍රායල් සාත්තු සේවය සදහා වැඩි අයදුම්කරුවන් පිරිසක් යොමුකරවීම ඇතුළු විදේශ රැකියා ක්ෂේත්‍රයේ කඩිනමින් විසදිය යුතු සහ ක්‍රියාත්මක විය යුතු අංශ ගණනාවක් පිළිබද අවධානය යොමු කරවීමට සහ අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ලැබුණා.

ඊට අමතර ව විදේශ රැකියාවන් සදහා ශ්‍රමිකයන් යොමුකරවීමේ දීත්, විගමනික ශ්‍රමිකයන් සදහා පහසුකම් සැපයීමේ දීත් කලාපීය රටවල් වන පකිස්තානය සහ සිංගප්පූරු කටයුතු කරන ආකාරය පිළිබද විමසා බැලීමටත් කටයුතු කරනවා.
එසේම ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ලබාගැනීම සදහා මැලේසියාව, සීෂෙල්ස්, කුවේට්,කටාර්, ඕමාන්, රොමේනියා සහ ඉතාලිය යන රාජ්‍යයන් සමග ද්වී පාර්ශ්වික අවබෝධතා ගිවිසුම් ඇතිකර ගැනීම සදහා කඩිනමින් කටයුතු කිරීමටත් තීරණය වුණා.

Similar Posts