වීසා නැති අයට වීසා හදාගන්න නීතියක් එයිද?

බොහෝ අය කලබල වෙලා ඉන්නවා දැන් ෆෙස්බුක් හරහා ඉතාලි භාෂාවෙන් සංසරණය වෙන නව නීතියක් ගැන සටහන් හා පෝස්ටර් හේතුවෙන්. රජයේ වග කිවයුතු කිසිදු දේශපාලකයකු හෝ නිලධාරියකු එවන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ. තවමත් පවතින්නේ යම් යම් පාර්ශවයන් ඉදිරිපත් කරන යෝජනා සහ අදහස් පමණි. බොහෝ දුරට යම් නීතියක් පැමිණිය හැකියි යන්න විශ්වාස කිරීමට හැකියාවකුත් පවතිනවා. අපි එසේ ප්‍රර්ථනා කරමු. ඒත් එය පැමිණෙන තෙක් කලබලයකින් තොරව රැකියාවක් කරන්න. රැකියා නොමැති අය ඉක්මනින් සොයා ගන්න.

මෙවන් පසුබිමක කිසිදු ආයතනයකට හෝ පුද්ගලයකුට නව නීති ගත කිරීම් වෙනුවෙන් අත්තිකාරම් මුදල් දීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිනවා. එහෙම නීතියක් එලි දැක්වුවහොත් එය ප්‍රධාන පුවතක් ලෙස ජනමාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත් කරනවා. තවද එහෙම නීතීයක් යම් ලෙසකින් පැමිණියහොත් කලබලයකින් එයට අයදුම් නොකරීමටද වග බලා ගන්නා ලෙස අවවාද කරනවා. මක් නිසාද යත් එවන් නීතියකට අයදුම් කිරීම සදහා යම් කිසි ප්‍රමානවත් කාලයක් ලබා දීමත්, නීති ගත කරන ප්‍රමානයේ කිසිදු සීමාවක් නොමැති වීමත් නිසා.

එවන් නීතියක් පැමිණිය හොත් ඒ සදහා යම් කිසි විදියකින් ඉදිරිපත් කල යුතු යයි අනුමාන කරන ලියකියවිලි හොරට සකස් කරගෙන තමන්ට ලැබෙන අනගි අවස්ථාවන් නැති කර නොගන්නා ලෙසද ඉල්ලා සිටිනවා.

සමහර පුද්ගලයන් අත්තිකාරම් මුදල් ඉල්ලා සිටින බවට ලැබුනු පැමිණිලි හේතුවෙන් ඔබ සැම දැනුවත් කිරීමට මෙය පළ කිරීමට තීරණය කරන ලදි.

නව සංක්‍රමිණික නීතියක් ඉදිරිපත් වුවහොත්.

යුරෝපා හවුලට අයිති නොවන තුන්වන ලෝකයේ රටවලින් ඉතාලිය⁣ට සංක්‍රමණය වූ පිරිස් නීති ගත කිරිමට ඉතාලි රජය සූදානම් යයි පැතිරී යන රාවයත් සමග අනවසරව රැදි සිටින විදේශීක ජනතාව බලාපොරොත්තු සහගතව පසුවන බව දැන ගන්නට ඇත.

රාජ්‍ය නොවන දේශිය සහ විදේශීය සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති මෙම ප්‍රශ්ණය වෙනුවෙන් හඬ නැගීම කාලයක සිටම සිදු කරන ලබයි. එදා සිට නොකඩවා සිදු කරන මෙම හඬ නැගීම දැන් සාමන්‍ය දේශපාලන ක්‍රියාවලියක් බවට පත්ව ඇත. යම් යම් අවස්ථාවන් වලදී ඒ හඬටද ඇහුන් කන් දීමට සහ ඔවුන්ගේ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයන් දැක්වීමට එදා පැවති රජයන්ට සිදුවූ බවද නොරහසකි.

ඒ අනුව 2018 වසරේ සිට මේ ක්‍රියාදාමය වෙනුවෙන් යම් කොල එලියක්ද දැල්වීමට පටන් ගෙන තිබිණි. එබැවින් 2019 වසරේ අග භාගයේදි එය ස්ථීරව සිදු වෙතැයි බොහෝ පාර්ශවයන් අනුමාන කලහ. පසුගිය කාලයේ පැවති රජයේ පාලන බලය ගිලිහි ගිය පසුව ඒ හා සම්බන්ධව ධනාත්මකව සිතන්නට බොහෝ අය කටයුතු කලහ. එහෙත් පවතින පාලන රජය තවමත් ඒ පිළිබද නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. ඔවුන් ඒ හා සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමටද වග බලා ගනිමින් සිටි.

ඉතාලියේ වසරක් පාසා ඉදිරිපත් කරන ජන සංඛ්‍යා ලේඛණ වලට අනුව 2018 මුල් භාගය වන විට අනවසර රැදවියන් පන්ලක්ෂ තිස්දහසක් ඉතාලියේ සිටින බවත්, එය වසර 2020 වනවිට හයලක්ෂ හැත්තා දහස ඉක්මවා යන බවත් එම වාර්තා සදහන් කරයි. එබැවින් ඒ හා විශාල අනවසරයන් සංඛ්‍යාවක් රටින් පිටකිරීම ප්‍රයෝගිකව කල නොහැකි වූ කාර්‍යයක් ද වේ. තවද ඔවුන්ගෙන් බොහෝ පිරිස් නිත්‍යානුකූල නොවන අයුරින් රැකියා වල යෙදෙමින් ජිවත්වන බවද රජය දනි. ඒ අනුව යම් නීතියකට යටත්ව ඔවුන්ව නීති ගත කිරීමට පියවර ගතහොත් වාර්ෂිකව ඔවුන්ගෙන් යම් ආදායමක් රජයට උපයා ගත හැකි බව ඒ වෙනුවෙන් හඩක් නගනා පාර්ශවයන් පෙන්වා දෙති. අවම වශයෙන් අනවසර රැදවියන් ලක්ෂ 4 ක් නීතිගත කලහොත් ඔවුන්ගෙන් ලබන ආදායම් බදු අගය යූරෝ මිලියන 900 ක් ලෙසද, Inps වාරික මුදල් වශයෙන් වසරකට රජයට උපයා ගත හැකි ආදායම ආසන්න වශයෙන් මිලියන 3000 ක් ලෙසද ඔවුන් ගනනය කර පෙන්වා දී ඇත. මෙම අගයන් පෙන්වමින් ආර්ථික විශ්ලේෂකයන් පවා උපදෙස් දෙනු ලබන්නේ රජයට මෙමගින් අමතර ආදායමක් ලබා ගත හැකි බැවින් එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා ලෙසටය.

එහෙත් ඒ ආර්ථික වාසියට වඩා ඉදිරියේදි රටට මුහුණ දීමට ඇති පුශ්ණ තක්සේරු කරමින් රජය නිහඬ පිලිවෙතක් අනුගමනය කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. යූරෝපා රටවලින් ඇතිවන බලපෑම, යූරෝපා රජයෙන් පෙන්වා දෙන ආරක්ෂක කරුනු සැලකිල්ලට ගෙන එවන් නිත්‍යානුකූල කිරීමකට නොයාමට රජයේ වඩාත් සැලකිලිමත් වන බව පෙනෙන්නට තිබෙනවා. යම් හෙයකින් එවන් නීතියක ඉඟියක් මතු වුවහොත් පෙර පරිදි අනපේක්ෂික ලෙස සංක්‍රමිකයන්ගේ පැමිණිමේ වර්ධනයක් සිදු වීමේ අවධානමක්ද පවතින බව ඔවුන් හොදාකාරව දනිති. එය රටට අහිතකර ලෙස බලපාන ප්‍රශ්ණ්‍යක් වන බව ඔවුන්ගේ මතයයි.

මෙවන් පසුබිමක නව නීති ගත කිරීමක් ගෙන ඒමට රජය ක්‍රියා කරාවි යන්න සැක සහිත වේ. එහෙත් වසර 1986 සිට මේ වනතෙක් පැමිණි සමහර නීතිගත කිරීම් අනපේක්ෂිතව ඉදිරිපත් වූ නීති ගත කිරීම් වේ. මෙයට පෙර 1986, 1989, 1995, 1998, 2002, 2011 වසර වල ඉතාලියේ අනවසර රැදි සිටි සංක්‍රමිකයන් නීති ගත කිරීමට එවකට පැවති රජයවල් කටයුතු සිදු කලහ. ඒ අනුව ඒ කාලයේ සිටි සියලුම අනවසර රැදවියන් හට ඉතාලියේ නීති ගත වීමට අවස්ථාව ලැබිණි. එවන් අනපේක්ෂිත අවස්ථාවක් මේ වසරේ හෝ ලබන වසරේ ⁣ඉදිරිපත් වීමට ඉඩකඩ ඇති බවට යම් සැකයක්ද පවති.

2018 නිකුත් කල වාර්තා වලට අනුව ඉතාලියේ නිත්‍යානුකූල විදේශීකයන් 5.065.000 ක ( ලක්ෂ 50 කට වැඩි) ප්‍රමානයක් සිටින බව සදහන් වේ. ඉතාලියේ Refugee වරපුසාදය ලබාගත් එක් ලක්ෂ හැත්තා දහසත් ⁣මෙම ප්‍රමානයට ඇතුලත්වේ. ඒ අනුව ලාංකිකයන් එක්ලක්ෂ හාරදහස් නමසිය තිස් හතක්ද (104.937) ද වයස 14 ට අඩු ලාංකික ළමුන් 25.438 ක් ද සිටින බව සදහන්වේ. එයින් 64.1% ක් දීර්ඝ කාලීන විසිමේ බලපත්‍රය ලබා ගත් අය බවද කියනු ලැබේ.

අපේ පැරනි කියමනක් තිබෙනවා “ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ” කියලා. මේ දිනවල එවන් කට කතාවක් අප ලාංකිකයන් අතර ඉතාමත් වේගයෙන් පැතිරි යමින් තිබේ. වසර 2012 සිට මේ දක්වා කිසිදු නීතියක් ඉදිරිපත් නොවුන හෙයින්ද, අනවසරව රැදි සිටින විදේශීක සංඛ්‍යාව⁣ට යම් සහනයක් ලබා දීමට කටයුතු කරාවිද යන්න ප්‍රශ්නාර්ථයක් සමග අතරමන් වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

යම් හෙයකින් එවන් නව නීතියක් ඉදිරිපත් වුවහොත් අනවසරව රැදි සිටින ලාංකිකයන් කෙසේ එයට මුහුණ දිය යුතුද යන්න සලකා බැලීම වැදගත් වේ. මාගේ දැනුම හැටිය⁣ට ලාංකිකයන් 4000 කට ආසන්න ප්‍රමාණයක් අනවසර රැදි සිටින බව උපකල්පනය කල හැකිවේ. 2012 සිට මේ දක්වා වසර වසර 8 ක කාලය තුල දිනකට එක් ලාංකිකයකු නිත්‍යානුකූල නොවන අයුරින් හෝ නිත්‍යානුකූලව ඉතාලියට ඇතුල්වී අනවසරයෙන් රැදි සිටින බවට අනුමාන කලහොත් 2920 ක පිරිසක් ඇතුලු වී ඇත. නමුත් දිනපතා පැමිණීමද එලෙස සිදුවන්නේ නැත. එයට අමතරව විවිධ හේතුන් මතද ඇතුල්වී ඇති ලාංකික උපරිමයම ගතහොත් ආසන්න වශයෙන් 4000 ක් ලෙස අනුමාන කල හැකිවේ.

වසර 1987 සිට මේ දක්වා පැමිණි සංක්‍රමිණික නීති සමිබන්ධයෙන් ප්‍රයෝගිකව ලබපු අත්දැකීම් සමග යම් උපදෙසක් ලබා දීම වෙනුවෙන් මෙම ලිපිය සකස් කිරීමට අදහස් කලෙමි. මෙම ලිපිය මගින් කොල නීතියක් පැමිණෙනවා යන වැරදි අර්ථකතනයක් සමාජ ගත නොකරන ලෙසද ඉල්ලා සිටිමි. යම් නීතිගත කිරීමක් පැමිණිය හොත් ඒ සදහා කාල සීමාවක් ලබා දෙන හෙයින් කලබලයෙන් ඒ සදහා ඉදිරිපත් නොවන ලෙසද අවධාරනය කරමි. මක්නිසාද යත් මුලදි අයදුම් යොමු කිරීමෙන් සමහර අවස්ථාවලදී එය නිසියාකාරව කරගත නොහැකි වනවා සේම අවශ්‍ය ලියකියවිලි නිසියාකාරව ඉදිරිපත් කිරීමටද නොහැකිව නිෂ්පුභා වන අවස්ථාවන් පසුගිය කාලවල අපි දුටුවෙමු.

මේ තාක් පැමිණි නීති පද්ධති තුල දක්නට ලැබුනු මූලික සුදුසු කම ලෙස දක්වන්නට හැකි වන්නේ රැකියාවක නිරත වීමේ අවශ්‍යතාවයයි. අවම වැටුපකට හෝ රැකියාවක නිරත වීම මෙම අවස්ථාවේ ගත හැකි නුවනට හුරුම ක්‍රියාව ලෙස සදහන් කල යුතුවේ. ඒ හා සමාන තමාට ලිපිනයක් ඉදිරිපත් කල හැකි ස්ථිර නවාතැනක්ද සපයා ගත යුතුවේ.

තවද අවසන් වරට පැමිණි නීතියට අනුව නම් ඔවුන් සදහන් කරන දිනයකට ප්‍රථම ඉතාලියේ සිටි බවට ඔප්පු කල හැකි සාධක ඉදිරිපත් කල යුතුව තිබිණ. 2012 පැමිණි නීතියට අනුව අයදුම් කරන අපේක්ෂයා 2011 වසරේ දෙසැම්බර් 31 දිනට ප්‍රථම ඉතාලියේ සිටි බවට සනාත කරන ලිපි, සහතික ඉදිරිපත් කරන්නට සිදුවිය.

වීසා බලපත්‍ර, රජයේ රෝහලකින් බෙහෙත් ලබා ගත් සහතික, ඉතාලියෙන් පිටවීමට ලබා දුන් ලියකියවිලි, තමාගේ නමට නිකුත් කල බස් හෝ දුම්රිය බලපත්‍ර, දඩ කොල හෝ ප්‍රසිද්ධ ආයතන කල සහතික ලිපි, හැදුනුම් පත් ඉදිරිපත් කල යුතු බව සදහන් විය. කූට ලේඛණ ඉදිරිපත් කිරීම බරපතල වරදක් බවද, එමගින් සිර දඩුවම් විදීමටද සිදුවන බව මතකයේ තබා ගැනීම වැදගත් වේ. තමනට ඉදිරිපත් කිරීමට යම් ලියකියවිලි නැති අවස්ථාවක කලබලයෙන් මුදලට හොර සහතික ලබා නොගන්නා ලෙසද, යම් කාලයක් ඒ සදහා ඉවසීමෙන් සිටිමෙන් යම් සහන ලබා ගැනීමට හැකිවු අවස්ථා අතීතයේ තිබු බවද සදහන් කරන්නට පුලුවන.

නව නීතියක් ඉදිරිපත් කිරීමේදි එලෙස ඉතාලියේ රැදි සිටි බවට සනාත කලයුතු යයි දැන් වුවහොත් ඒ ආකාරයෙන් යම් ලිපි හෝ සහතික ඉදිරිපත් කල යුතු යයි උපකල්පනය කල යුතුව ඇත.

තවද එවන් යම් අවස්ථාව වලදි පසුගිය මාස 3 ක හෝ යම් කාල පරිච්ඡේදයකට සරිලන පරිදි Inps වාරික මුදල් ගෙවීමටද, ඒ හා සමාන ඉදිරි මාස 3 ක Inps වාරික මුදල් ගෙවීමට නියෝග කල අවස්ථාවන්ද තිබිණි. එයද සිහියට ගෙන, ඒ සදහා නිතරම යම් මුදලක් ලග තබා ගැනීම සුදුසුවේ.

තවද ඒ හා සමානව යම් දඩ මුදලක්ද අය කිරීමද කල හැකි හෙයින් එයටද සූදානම්ව සිටීම නුවනට හුරුවේ.

තවද එවන් නීතියක් ඉදිරිපත් කරන සෑම අවස්ථාවකම රටින් පිටවීමට නියෝග කල එහෙත් පිට නොවුන අයටද අයදුම් කිරීමට අවස්ථාව ලබා දුනි. ඒ හා සමානව වෙනත් ආකාරයකින් විසිමේ බලපත්‍ර ලබා ගැනීම වෙනුවෙන් අයදුම් කර එය නොලැබුන අයටද (දේශපාලන රැකවරන යනාදිය) අයදුම් කිරීමට අවස්ථාව ලබා දේ.

උසාවියකින් වරද කරුවකු වී රටින් පිටවීමට නියෝග කල අයට හෝ වරදකරුවී දඩුවම් ලබපු අයට එම අවස්ථාව නොලැබෙන අතර යම් කොන්දේසි මත සමහර අයට අයදුම් කල හැකිව තිබිණ. කුස්තුරා මගින් විසිමේ බලපත්‍ර අත්හිටවා ඇති අයටද යම් යම් අවස්ථාවන් වලදි සහන ලබාදි ඇති අතර එවන් ලාංකිකයන් අයදුම් කිරීමට ප්‍රථම නීති උපදෙස් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වනු ඇත.

මම මෙම ලිපිය පළ කිරීම තුලින් වැරදි අවබෝධයක් ලබා නොගන්නා මෙන්ද, නව නීතියක් හෙවත් කොල නීතියක් ලඟදී එන බවක්ද මෙයින් වටහා නොගන්නා මෙන් ඉල්ලා සිටිමි. යම් හෙයකින් එවන් නීතියක් ඉදිරිපත් වුවහොත් තමන් කෙසේ එයට මුහුණ දිය යුතුද යන්න විමසා බැලීමක් මෙයින් සිදු කරන මෙන්ද ඉල්ලා සිටිමි.

1986 නීතිය⁣ට අනුව 1987 ජනවාරි 27 දින මම ඉතාලියේ නීති ගත වූ අතර එතෙක් සිට සෑම නීතිගත කීරිමක් ගැනම සිංහල භාෂාවෙන් ලාංකිකයන් දැනුවත් කිරීමට කටයුතු සිදු කල අතර ඒ හා සම්බන්ධ මා පළකර ලිපි අනුගමනය කරමින් නීතිගන වූ ලාංකිකයන් බොහෝ දෙනෙකු ඉතාලි පුරා විහිදි සිටින බව සදහන් කරන්නේ ඉතාමත් සතුටිනි. ඔබ සැමට ජය.

අජිත් හෙට්ආරච්චි

 

Similar Posts