2020 ජූනි 01 සිට ජූලි 15 දක්වා 2020 සනතෝරියා .. සනතෝරියා 2020 අළුත්ම තත්වය

ඔන්න දැන් නම් සනතෝරියා එක ස්ථිරයි කියලා බයක් නැතුවම කියන්න පුළුවන් .. 😁 පොඩි සීමා මායිම් ටිකක් තියෙනවා..”උසාවියකින් අපරාධ නඩුවකට වැරදිකරු වෙච්ව සේවා යෝජිතයෙක්ට ඉල්ලුම් කරන්න බැහැ” කියලා තිබ්බ කොන්දේසිය නම් අයින් කර ගෙන..

              අවසානයේ සභාග රජයේ ප්‍රධාන හවුල්කරුවන් වෙච්ච PD, ITALIA VIVA, M5S අතරේ, කෘෂිකාර්මික සහ ගෘහ සේවයේ අවිධිමත් ලෙස සේවයේ යෙදී සිටිනා විදේශික සංක්‍රමණිකයින් නීත්‍යානුකුල කිරීම සම්බන්ධයෙන්  එකඟතාවයකට එන්න පුළුවන් වෙලා තියෙනවා ...දින 2ක අසීරු සාකච්ඡා වට කිහිපයකට පස්සෙ තමයි මේ ගොල්ලො මේ තීරණයට ඇවිත් තියෙන්නෙ ..

            මෙහිදී සැලකිල්ලට ගැනෙන්නෙ කෘෂිකාර්මික අංශය සහ ගෘහ සේවා (baby-sitter, badante , colf) අංශය පමණයි.. අනෙක් අංශ ගැන සැලකිල්ලක් දක්වලා නැහැ.. ඒ කිව්වෙ ඉදිකිරීම් අංශය (edilizia), සෘතුමය සංචාරක අංශය ( turismo stagionale) වගේ..

      M5S පක්ෂයේ නායක නියෝජ්‍ය අමාත්‍ය CRIMI ට පුළුවන් උනා සනතෝරියා එකට පක්ෂව ශක්තිමත් කණ්ඩායමක් තමන්ගෙ කඳවුර පැත්තෙන් ගොඩ නගා ගන්න. පක්ෂයේම සනතෝරියා එකට විරුද්ධ සුළුතර කණ්ඩයාමක් නිසා ඔහුගේ M5S පක්ෂය අභ්‍යන්තර ඉරිතැලීමකටත් ලක් වෙලයි ඒ වෙන කොට තිබ්බෙ. අවසානයේ CRIMI ජයග්‍රහණය සමරමින් ඔහු ප්‍රකාශයක් නිකුත් කලා..

” සතුටුදායක යැයි හිතන ගිවිසුමකට එන්න හැකි වුනා..මේක කලින් තිබ්බ වගන්තිවල සංස්කරණයක්, ඒකෙ වැඩි දියුණු කරන ලද්දක්..අපේ පැහැදිලි ඉල්ලීම උන අවිධිමත් රැකියා , නීත්‍යානුකුල කිරීම පිලිගැනීමක්…”‘

අගමැති CONTE ත් අදහස් ප්‍රකාශ කලා..
” අපේ භූමිය මත දැනටමත් සේවයේ යෙදී ඉන්නා සංක්‍රමණිකයින් යම් නිශ්චිත කාලයක් උදෙසා නීත්‍යානුකුල බවට පත් කිරීම කියන්නෙ ශ්‍රමය සූරා කන මාෆියාවට එරෙහිව අවි මුවහත් කිරීමක්, රැකියා ගිවිසුම් රහිත සේවයට එරෙහි වීමක්, සනීපාරක්ෂක පරීක්ෂා ක්‍රම ක්‍රියාත්මක කිරීමක්, වගේම අපේ සහ ඔවුන්ගේත් සෞඛ්‍ය තත්වය මේ කොරෝනා අවදානම් අවධියේ ආරක්ෂා කර දීමක්..”‘

        මුලින් ආපු කෙටුම්පතට වඩා පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා දෙවෙනි කෙටුම්පතේ , සනතෝරියා එක ක්‍රියාත්මක වෙන පිළිවෙල සහ සනතෝරියා එකට ඉල්ලුම් කරන්න බැරි කාටද කියන කරුණු සම්බන්ධයෙන් .. අනිවාර්යයෙන්ම කම්කරු ශ්‍රමය අලෙවි කල සංවිධානාත්මක ජාලවල සහායකයන්ට, ගණිකා සේවය මෙහෙයවූවන්ට , සංවිධානාත්මක සංක්‍රමණිකයින් ආගමනයට හවුල් වූවන්ට නම් ඉල්ලුම් කල නොහැකියි




කවද්ද සනතෝරියා එකට ඉල්ලුම් පත් යවන්න පුළුවන් ?
2020 ජූනි 01 සිට ජූලි 15 දක්වා කාලය තුල ඉල්ලුම් පත් යවන්න පුළුවන් .

වියදම

සේවා යෝජකයා (datore di lavoro ) සෑම අයදුම් කරන සේවකයෙක් සඳහාම යුරෝ 400 ක මුදලක් ගෙවිය යුතුයි .

ඉල්ලන්න බැරි සේවා යෝජකයො කවුද?

  • මිනිස් ජාවාරමක් ලෙස විදේශික සංක්‍රමණිකයින් ආගමනයට උදවු කල අය,
  • වහල් සේවයක් ලෙසට වැඩ ගත් අය
    ( articolo 600 codice penale)
  • ශ්‍රමය සූරා කෑමට වැරදිකරුවන් වූ අය
    (articolo 603 bis codice penale)
  • නීතියට පටහැනි ශ්‍රම ජාවාරමක අතරමැදියන් ලෙස කටයුතු කල අය
  • කලින් සනතෝරියා එකකදී තම සේවකයන් නීත්‍යානුකුල නොකල අය

ඉල්ලන්න බැරි සේවා දායකයො (lavoratori ) කවුද?

  • අපරාධ නඩු විධාන සංග්‍රහයේ 380 වගන්තිට අනුව , රටින් නෙරපා හැරීමේ නියෝගයක් ලද අය (ඉතාලියේ අනවසරයෙන් රැඳී සිටීම නිසා සති 2 ක් තුල රටින් බැහැර වීමට නියෝග ලද අය ගැන නම් කියවිලා නැහැ.)
  • පුද්ගල නිදහසට එරෙහිව අපරාධවල යෙදුනු අය
  • මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය
  • ගණිකා ජාවාරමට සම්බන්ධ අය
  • හොරෙන් මිනිස්සු රටට හෝ රටෙන් වෙනත් රටකට අදින්න උදවු කල අය

වැරදි තොරතුරු සැපයෙන ඕනෑම ඉල්ලුම් පතක් අවලංගු කිරීමකට ලක් වේ.


කල් ඉකුත් වූ රැඳී සිටීමේ අවසරයක් සහිතව යම් ආයතනයක සේවයේ යෙදුන සංක්‍රමණිකයින් , රැකියා ගිවිසුමක් ඉදිරිපත් කිරීමෙන් ඔවුන් නීත්‍යානුකුල කිරීමට සේවා යෝජකයාට මේ සනතෝරියා එකෙන් අවස්ථා සලසා දී ඇත.

020 මාර්තු 08 ට කලින් ඇඟිලි සලකුණු දීමකට සහභාගි වූ අය සහ එම දිනට පෙර ඉතාලියෙ සිටි බව ඔප්පු කල හැකි අය ( ආදායම් විස්තරයකින්, පදිංචිය සනාථ කිරීමකින්) සනතෝරියා එකට ඇතුලත් වෙනවා.


2019 ඔක්තෝබර් 31 වෙද්දි රැඳී සිටීමේ අවසරපත්වල කාලය ඉකුත් වූ අයටත් මේ සනතෝරියා එකට ඉල්ලන්න පුළුවන්, 2020 මාර්තු 08 ට කලින් රටෙන් බැහැරව ගියේ නැතිනම්..(මේ අයට රැකියාවක් සොයා ගන්න තාවකාලික රැඳී සිටීමේ අවසරපතක් ඉල්ලුම් කල හැකියි.. )එය කොපමණ කාලයකට ද කියල නම් තවම නිර්වචනය කරලා නැහැ..

මොන සේවා අංශවලටද සනතෝරියා එකට සහභාගි විය හැක්කෙ??
කෘෂිකාර්මික අංශ , පශු සම්පත් සහ සත්ව පාලනය, ධිවර කර්මාන්තය සහ මිරිදිය ධීවර වගාව, පුද්ගල සාත්තු සේවයේ යෙදෙන අය, ගෘහ සේවකයන්, baby-sitter

පසු සටහන
තවමත් අයදුම්පත් දාන්න බැහැ..හැබැයි ජූනි 01 වෙනිදා සිට දාන්න පුළුවන් කියන එක නම් ෆුල් ෂුවර්.

මාස එකහමාරක්ම අයදුම් කරන්න කාලයත් තියෙන එකේ , දැන් ඉඳල සේවා යෝජකයෙක් ( datore di lavoro ) හොයා ගන්න උත්සාහ කරන්න. සනතෝරියා එකට ගන්න ප්‍රමාණයේ සීමාවක් නැති එකේ අනවශ්‍ය විදියට කලබල වෙලා , හොර ජාවාරම් කාරයින්ට අහු වෙලා අතේ තියෙන අන්තිම සතේ දක්වා හින්දවා ගන්න එපා කියලත් මතක් කරනවා..

SUJITH YADDEHIGE 12/05/2020

Similar Posts