කූඨ ලෙස සකස් කළ වීසා මගින් ‘ඉතාලි යාමට තැත් කළ’ දෙදෙනෙක් හසුවේ
කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා මගින් ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද (21) අලුයම කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් වෙත මොවුන් දෙදෙනා ඉදිරිපත් කළ ලියකිවිලි පිළිබඳ මතු වූ ගැටලු කීපයක් නිසා ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර ඇති අතර එහිදී එම නේවාසික වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු වී ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළා.
මින් පෙර කිසි දිනෙක විදේශගත වී නොතිබුණු එම දෙදෙනාගේ ගුවන් ගමන් බලපත්‍රවල ද ව්‍යාජ ඉතාලි සහ ශ්‍රී ලංකා ආගමන විගමන මුද්‍රා සටහන් ඇති බවද වැඩිදුරටත් මෙම නිලධාරීන් කළ විමර්ශන වලදී අනාවරණය කරගැනීමට සමත් වී තිබෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබුණා.