|

කොට කොලය… ඇඟිලි සලකුණු… ලංකාව… ඉතාලි පොත.

කොට කොලය, ඇඟිලි සලකුණු, ලංකාව, ඉතාලි පොත,අපේ අයට හරිම ප්‍රශ්ණයක් තමා මේ ඉහත මාතෘකා.

විසිමේ බලපත්රය හෙවත් Permesso di Soggiorno එකේ කාලය ඉක්මවීම නිසා දීර්ඝ කරගැනීමට අයදුම් කරාට පස්සේ ලංකාව යන්න තියෙන හදිස්සිය. ඒක වලංගුව තියෙද්දි ඔහේ ඉන්නවා. අවලංගු වෙන්න ආසන්නයේදී හෝ අවලංගු වුනාට පස්සේ තියෙන්නේ මාර තදියමක් ලංකාවට යන්න, යුරෝපයට යන්න. ඒ වගේම තමා ඇඟිලි සලකුණු කතාව. ඊට වඩා හපන් ඉතාලි පොතේ කතාව.

කොට කොලය හෙවත් තැපැල් පත් රිසිට් එක.

ඉතාලියේ විසිමේ බලපත්‍රයක කාලය අවසන් වීමට දින 60 කට ප්‍රථමත්, කාලය අවසන් වී දින 60 ක් තුලදීත් නැවත දීර්ඝ කරගැනීමට අයදුම් කල හැකිවේ. නැවත දීර්ඝ කිරීමට අයදුම් කිරීමේදි තැපැල් කාර්යාල ලබාදෙන රිසිට් පට සහ මුදල් ගෙවන ලද කුවිතාන්ස වලට තමා අ⁣පේ අය කොට කොලේ කියලා හදුන්වන්නේ. ඒ කොට කොලය සහ කාලය ඉක්මවූ විසිමේ බලපත්‍රය ලග තබාගෙන තමන්ගේ මව් රටට යාමට ඉතාලි රජය විශේෂ චක්‍රලේඛණයක් මගින් අවසර ලබා දීලා තියෙනවා. ඒ චක්‍රලේඛණය 2006 වසරේදී නිකුත් කල අතර එම චක්‍රලේඛණ⁣ය මේ ලිපියේ පහත අමුණා තියෙනවා. අවශ්‍ය නම් එහි මුද්‍රිත කොපියක් ලග තබා ගන්න. අවශ්‍ය වෙලාවක ලංකාවේ එයාර්පෝට් නිලදාරින්​ට පෙන්වන්නත් පුළුවන්. තවද අපේ සමහර අයත් මේ නීති ගැන කිසිදු දැනුමක් නොමැතිව වැරදි අදහස් ප්‍රකාශ කිරීම් නිසා එම චක්‍රලේඛණයත් මෙහි අමුණන්න තීරනය කරා. මේකවත් බලලා වැරදි අදහස් ප්‍රකාශ නොකර සිටියි කියලා හිතනවා.

මෙහි පැහැදිලිව සදහන් කරලා තියෙනවා කාලය ඉක්මවූ විසිමේ බලපත්‍රයත්, අලුත් කිරීම සදහා අයදුම් කිරීමේදි ලබා දුන් රිසිට් පටත් උපයෝගි කරමින් තම මව් රටට යාමට සහ නැවත ඒමට හැකියි කියලා. තම මව් රටේ රැදි සිටිය හැකි කාලසීමාව මෙම චක්‍රලේඛණයේ සදහන් කර නැති නමුත් පසුව නිකුත් කල වෙනම චක්‍රලේඛණයක ඒ කාලසීමාව මාස 6 ක් ලෙස දක්වා තිබුනා. තවද යූරෝපා රටවල් වල හරහා (Transit) යාමට මෙන්ම සංචාරය කිරීමට නොහැකි බවත් සදහන්ය. ඒ නිසා තමන්ගේ කාලය ඉක්මවූ විසිමේ බලපත්‍රය සහ තැපැල් පත් රිසිට් උපයෝගි කරගනිමින් කිසිදු අපහසුවකින් තොරව තම මව් රටට යා හැකිවෙනවා. මොකද මේ චක්‍රලේඛණයේ සදහන් නීතිරෙගුලාසී තවමත් වලංගුව පවතින හෙයින්.

ඒ වගේම විසිමේ බලපත්‍රය කල් ඉකුත්වීමට පෙර අලුත් කිරීමට අයදුම් කල තැපැල් රිසිට් පටවලින් ලංකාවට යාම වඩාත් සුදුසුවේ. මක් නිසාද යත් විසිමේ බලපත්‍රයේ කාලය අවසන් වී අලුත් කිරීමට අයදුම් කල තැපැල් රිසිට් පටවලින් ගමන් ගත් අය නැවත පැමිණේමේදි ලංකාවේ ගුවන් තොටුපල සමහර නිලධාරීන් බාදා කිරීම් සහ නැවත හරවා යැවීමට කටයුතු යොදන බව දැනගැනීමට ලැබී තිබෙන නිසා. යම් කිසි කෙනෙක්ව එසේ හරවා යැවීමේදි නැවත ඉතාලියට පැමිණිමට නම් Re-entry වීසා ලබා ගැනීමට සිදුවෙන බැවින් වඩාත් පරික්ෂාකාරී වීම වැදගත්වේ. නමුත් එදා නිකුත් කල චක්‍රලේඛණයේ සදහන් වෙනවා විසිමේ බලපත්‍රය කල් ඉකුත් වී දින 60 ක් ඇතුලත අයදුම් කල අයටත් එසේ ගමන් කිරීමට හැකි බව. නමුත් යම් කිසියම් අභ්‍යන්තර නව නීතියක් යටතේ ඒ අය එසේ ප්‍රශ්ණ කර හරවා යවනවාද කියා නම් නොදනී. මේ හරවා යැවීම සහ විශේෂ ප්‍රශ්ණ කිරීම සමහර නිලධාරීන් අනුව සිදුවන කරුනක් නිසා එය ස්ථිරවම සිදුවෙනවා යයි කියන්නත් බැහැ.

තවද ඇඟිලි සලකුණු ප්‍රශ්ණය

බොහෝ ලාංකිකයන් හිතනවා ඇඟිලි සලකුණු ලබා දීම ලංකාවට යාමට සුදුසු
කමක් කියලා. එය සම්පූර්ණයෙන් වැරදි සිතිවිල්ලක්. ඇඟිලි සලකුණු ලබා දීම ලංකාවට යාමට ලබාදෙන වරප්‍රසාදයක් නොවේ. එය ඔබගේ විසිමේ බලපත්‍රය අලුත් කිරීමේදි පොලිසිය ගන්නා එක් පියවරක් පමණි. සාමාන්‍යයෙන් ඇඟිලි සලකුණු ලබා දීලා එහි ප්‍රතිඵල එනතෙක් පලාතේ ප්‍රධාන පොලිසිය ඔබගේ ලියකියවිලි නියම විදියට පරික්ෂා කරන්නේ නැහැ. අඩුපාඩු ගැන නම් Portale Immigrazione වෙබ් පිටුවට යාවත්කාලීන කරනවා. ඒක නිසා ඇඟිලි සලකුණු දුන්නත් නොදුන්නත් තැපැල් රිසිට් පටවලින් තමන්ගේ මව් රටට යාමට නම් කිසිම බාදාවක් නැහැ. ලංකාවේ සමහර ආගමන විගමන නිලධාරීන් කොට කොලය ගැන වැටහීමක් නොමැතිව නැවත පැමිණිමේදි යම් බාදාවන් ඇති කරනවා කියලා පැමිණිලි තියෙනවා. ඒ වගේම සමහර ගුවන් සමාගම් නිලධාරීන්. නමුත් බොහෝ නිලධාරීන් මේ පිලිබඳව මනා වැටහීමකින් ඉන්නවා. විශේෂයෙන් කටාර් සහ එමීරේට්ස් ගුවන් සමාගම් නිලධාරීන් එසේ යාවත්කාලීන වී සිටිනවා ඉතාලි නීති සම්බන්ධව.

ඉතාලි පොත.

අපේ බොහෝ අය කතාවට කියන්නේ ඉතාලි පොත ගන්න අයදුම් කරනවා කියලා. නමුත් ඇත්තටම සිදුවන්නේ ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමයි. ඉතාලි පාස්පෝර්⁣ට් එක නොහොත් පොත ගැනීම හෝ නොගැනීම ඒ අදාල පුද්ගලයාගේ අවශ්‍යතාවයක්. ලංකාවේ නීතියට අනුව නම් යම් ලාංකික පුරවැසියෙක් වෙනත් රටක පුරවැසිභාවය ලබා ගත් මොහොතේ පටන් ඔහුගේ ලාංකික පුරවැසිභාවය අහෝසිවෙනවා. ඒ කියන්නේ ලංකාවේ පාස්පෝර්ට් එක, ලංකාවේ හැදුනුම්පත අවලංගු වනවා. එවිට ලංකාවට යනවා නම් ඉතාලි පාස්පෝර්ට් එකත්, ලංකාවට ඇතුලුවීමට වීසා අවසරයත් ලබා ගත යුතුයි කියන එක. ඒ වගේම ඉතාලි පුරවැසිභාවය ලබාගත් ලංකාවේ අයගේ ලංකාවේ පිහිටි නිශ්චල සහ චංචල දේපල වලට කිසිදු බලපෑමක් සිදු වන්නේ නැති බවත් වටහා ගත යුතුවේ. නැවත ලංකාවේ පුරවැසිභාවය අයදුම් කිරීමේදි අයදුම්කරු ලංකාවේ තමන්ගේ නමින් තිබෙන ලක්ෂ 25 වැඩි දේපලක් හෝ රුපියල් ලක්ෂ 25 ක මුදලක් වසර 3 ක් සදහා ලංකාවේ බැංකුවක ස්ථිර තැන්පතු කල සහතිකයක් ඉදිරිපත් කල යුතුවේ. ඒ කියන්නේ ඔබට පෙර තිබුනු ලංකාවේ දේපල වලට කිසිදු දෙයක් නොවන බවට සහතිකයකි. හැබැයි ඉතාලි පුරවැසිභාවය තිබෙන එහෙත් ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා නොගෙන ලංකාවෙන් මිලදී ගන්නා දේපලවලට ලංකාවේ නීතියට අනුව බදු ගෙවිය යුතු වෙනවා. මෙයට පසු ඉතාලි පොත ගැනීම ගැනීම කෙසේ වෙතත් ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට අදිටන් කරගන්න. එය තමන්ගේ අනාගතයට හොද ආයෝජනයකි.

සාමාන්‍යයෙන් ඉතාලියේ ඉන්නා අපේ ලංකාවේ අය නොදන්නා සහ වරදවා වටහා ගෙන සිටින සාමාන්‍ය තොරතුරු වලින් බිඳක්. මේ සමග අමුණා ඇති චක්‍රලේඛණය මම හිතන්නේ නැහැ කිසිදු ලාංකිකයෙක් ලඟ ඇතැයි කියලා. මෙය මුද්‍රණය කරගන්න. ලග තියාගන්න ලංකාවට යනවිට. ඒ වගේම මේ ලිපිය ඔබට හැකි අයුරින් share කරලා ඔබ⁣ දන්නා නොදන්නා අයව දැනුවත් කරන්න.

 ඉතාලි පුරවැසිභාවය ලබාගන්නේ කොහොමද? මේ ලිපිය කියවන්න.
ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම හා ලංකාවේ පුරවැසිභාවය රදවා තබාගන්නේ කොහොමද?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *