කොවිඩ්: එන්නත් වර්ග දෙකකින් ගත්තොත් මොකද වෙන්නේ?

කොවිඩ් 19ට එරෙහිව එන්නත ලබා ගැනීමේදී පළමු මාත්‍රාව එක් වර්ගයකිනුත් සහ දෙවන මාත්‍රාව තවත් වර්ගයකිනුත් ලබා ගැනීම සුදුසුද?

ශ්‍රී ලංකාවේ පමණක් නොව, එන්නත් හිඟ වී ඇති බොහෝ රටවල ජනතාව මේ දිනවල ඉහත කී ප්‍රශ්නයට අවධානය යොමු කර ඇත. මේ පිළිබඳව එක්සත් රාජධානියේ සිදු කරන ලද අලුත්ම පර්යේෂණයක ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ. මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇත්තේ AstraZeneca එන්නත සහ Pfizer එන්නතයි.එන්නත් මාත්‍රා දෙක එකිනෙකට වෙනස් වර්ග දෙකින් ලබා දීමෙන් කොවිඩ් 19ට එරෙහිව වඩා හොඳ ආරක්ෂාවක් සපයන බව එම පර්යේෂණයෙන් ඔප්පු වී තිබේ.

Com-Cov නමැති මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ මෙසේය.පර්යේෂණය සඳහා කාණ්ඩ තුනකට අයත් පිරිස සහභාගී කරගෙන ඇත. එක් කණ්ඩායමකට මාත්‍රා දෙකම ලබා දුන්නේ Pfizer එන්නතය. දෙවන කණ්ඩායමට මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ AstraZeneca එන්නතයි. තුන්වැනි කණ්ඩායමට අයත් පිරිසට පළමු මාත්‍රාව මින් එක් වර්ගයකින් සහ දෙවන මාත්‍රාව අනෙක් වර්ගයෙන් ලබා දී තිබේ. මේ සියලු දෙනාගේම කොවිඩ් ප්‍රතිශක්තිය හොඳින් වර්ධනය වී තිබේ.

මෙම පර්යේෂණ ප්‍රතිඵල මගින් ඇඟවෙන තවත් කරුණක් වන්නේ මාත්‍රා දෙකම එකම වර්ගයකින් ලබාගත් උදවියට පවා පසුකාලීනව කොවිඩ් ප්‍රතිශක්තිය තවදුරටත් වර්ධනය කර ගැනීමට අවශ්‍ය නම් (booster) මෙම වර්ග දෙකෙන් කුමන වර්ගයක් හෝ භාවිත කළ හැකි වීමය.

මෙම පර්යේෂණයේ ප්‍රතිඵලය පිළිබඳව අදහස් දක්වමින් එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, මහාචාර්ය ජොනතන් වැන්-ටැම් කියා සිටියේ එන්නත් ලබා ගැනීමට අපහසු වී තිබෙන රටවල්වලට මෙය සුභ ආරංචියක් වනු ඇති බවය.

ඇතැම් රටවල් දැනටමත් එන්නත් වර්ග දෙකක් භාවිත කරමින් පළමු සහ දෙවන මාත්‍රාව ලබා දීම සිදු කරමින් පවතී.ස්පාඤ්ඤයේ සහ ජර්මනියේ, පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් තරුණ ප්‍රජාවට දෙවන මාත්‍රාව වශයෙන් Pfizer හෝ Moderna එන්නත ලබා දෙනු ලැබේ. එම රටවල් දෙක මෙම පියවර ගත්තේ මෙම පර්යේෂණ වාර්තාව නිකුත් වීමට පෙරය. ඊට හේතු වූයේ AstraZeneca එන්නත මගින් සිරුරේ ලේ කැටි ගැසීමේ තත්ත්වයක් ඇති වීමට අවදානමක් පවතින බව වාර්තා වීමය. නමුත් එය ඉතා කලාතුරකින් ඇතිවිය හැක්කක් බව විශේෂඥයෝ පෙන්වා දුන්හ.

වැඩි ප්‍රතිදේහ ප්‍රමාණයක්

කොවිඩ් 19ට එරෙහිව සටන් කර එම වෛරසය මරා දැමීම සඳහා ශරීරය පුහුණු කිරීමටත් සිරුරට පූර්ණ කොවිඩ් ආරක්ෂාවක් ලබා දීමටත් එන්නත් මාත්‍රා දෙකක් ලබා දීම ඉතා වැදගත්ය. ඉහත කී Com-Cov අධ්‍යයනය සඳහා වයස අවුරුදු 50 සහ ඊට වැඩි 850 දෙනෙකු සහභාගී විය. ඔවුන් මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තිබේ. මොවුනට දෙවන මාත්‍රාව ලබා දී ඇත්තේ පළමු මාත්‍රාව ලබා දී සති හතරකට පසුවය.එන්නත් මාත්‍රා දෙකම AstraZeneca ලබා දුන් පිරිසට වඩා දෙවන මාත්‍රාව සඳහා Pfizer ලබා දුන් පිරිසගේ සිරුරු තුළ වැඩි ප්‍රතිදේහ ප්‍රමාණයක් ප්‍රේරණය කර ඇති බව මෙම අධ්‍යයනයෙන් සනාථ වී තිබේ.

කෙසේ වෙතත් මාත්‍රා දෙකම සඳහා AstraZeneca භාවිත කිරීම මෙම අධ්‍යයනය නිසා පීඩාවට පත් නොවන බව එම අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැතිව් ස්නේප් පැවසීය.

“සති 08ත් 12ත් අතර කාල පරතරයක් සහිතව මාත්‍රා දෙකම එකම වර්ගයෙන් ලබා දුන්නත්, ආසාදිතයන් රෝහල්ගත වීම සහ කොවිඩ් රෝගයෙන් අසාධ්‍යවීම මෙම එන්නත් දෙවර්ගයම නිසා අඩුවෙලා තියෙනවා. එමෙන්ම ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිවත් මෙම එන්නත් දෙකම වැඩ කරනවා.” ඔහු ප්‍රකාශ කළේය.

bbc සිංහල පුවත් සේවයෙන් උපුටාගන්න ලදී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *